බුලත් අත තියපු ගමන් ලෙඩ සේරම කියන වාහල්කඩ ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේගේ විශ්මිත හෙළ වෙදකම්

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමක රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගාණේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්න එම කතා මාලාවේ නව වැනි කොටසය.

වාහල්කඩ ඉසිවර අරණේදී විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් අපට හමු වන බව සැබෑය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිඥවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, වෛද්‍යවරු, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළු එකී, නොකී විවිධ පුද්ගලයන් එම පින්බිමේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් අතර සිටින හේමපාල චන්ද්‍රසේන ද සිල්වා මහතා විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයෙකි. ඔහු පදිංචි වී සිටින්නේ මොරටුව ලුනාව ප්‍රදේශයේය.

හේමපාල මහතා ද කාලයක්‌ පිළිකාවකින් පීඩා විඳ පසුව වාහල්කඩ පින්බිමේ දින විසි එකක්‌ කූඩාරම්ගතව සිට ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටින්නේය. දැන් ඔහු විවේකයක්‌ ලැබෙන බොහෝ දිනවල වාහල්කඩ මංගලාරාමයට පැමිණ විහාරාධිපති වහන්සේගේ මෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ විමසා බැලීම පුරුද්දක්‌ කරගෙන සිටින්නේය. මේ මොහොතේ ද හේමපාල මහතා පැමිණ තිබෙන්නේ එකී සත්පුරුෂ යුතුකම ඉටු කිරීම සඳහාය. විහාර භූමියේදී එකිනෙකට හමු වී දැන හඳුනගත් හේමපාල මහතා ලෙන්ගතුව අපව පිළිගෙන පීඩා විඳි රෝගී තත්ත්වය ගැන මෙන්ම වහල්කඩ පින්බිමේ හාස්‌කම් ගැන ද හරවත් ලෙස කරුණු පැහැදිලිs කළේය. මේ විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයා අපට කියූ කතාවය.

“මම අවුරුදු හතළිහක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සේවය කළේ. දැන් මම විශ්‍රාමිකයි. මට වයස අවුරුදු 73 ක්‌ වෙනවා. අවුරුදු පහළොවක විතර කාලයක ඉඳලා දියවැඩියාවට බෙහෙත් බොනවා. අවුරුදු එකහමාරක විතර උඩදි හිටි හැටියේ මගේ ඇඟේ බර අඩු වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරු කිහිපදෙනෙක්‌ ළඟටම ගියා. ඒ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ දියවැඩියාවට බෙහෙත් බොන නිසා බර අඩු වෙනවා ඇති කියලා. දවසින් දවස බර අඩු වෙනකොට පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ පොලිස්‌ රෝහලට ඇතුළත් වුණා. එතැනදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සීටී ස්‌කෑන් එකක්‌ කළා.

එම පරීක්‍ෂණයෙන් නිගමනය වුණේ මගේ අක්‌මාවේ ‘හෙපටෝ සෙලියුලර් කාසිනෝමා’ කියන පිළිකා තත්ත්වය සහ එයින් ඇති වෙච්ච සිරෝසීස්‌ රෝගී තත්ත්වයක්‌ තියෙනවා කියලා. කඩිනමින් ශල්‍යකර්මයක්‌ කරන්න වෙනවා කියලා ඒ වෛද්‍යවරු අපිට කිව්වා. පස්‌සේ මගේ ඥාති දරුවකුගේ උදව් ඇතිව මහරගම පිළිකා රෝහලට ගියා. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක්‌ මගින් මාව පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෛද්‍යවරු මට කිව්වා පිළිකාව තියෙන තැන අනුව ශල්‍යකර්මයක්‌ කරන්න අපහසුයි. කිමෝ තෙරපි කරන්න ඕනා කියලා, ඒ සම්බන්ධයෙන් විශේෂඥම වෛද්‍යවරයා ළඟට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා මට කිව්වා ‘කිමෝ තෙරපි දෙන්න බෑ. එච්චර දුර ගමන් කරන්නේ නෑ’ කියලා. පස්‌සේ ඒ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයකුට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයත් පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා ‘ඔපරේෂන් එකක්‌ කරන්න පුළුවන්. ඒත් පනහට 50 තමයි විශ්වාසයක්‌ තියන්න පුලුවන් කියලා…’

“මගේ එක ඥාති දුවක්‌ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක්‌. එයාගේ මහත්තයා පොලිස්‌ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඒ හැම කෙනාම මට උපරිමයෙන් උදව් උපකාර කළා. පහුගිය මාර්තු 07 වැනිදාට ශල්‍යකර්මයක්‌ සිදු කරන්න දින යෙදුනා. මගේ වයසත් එක්‌ක ශල්‍යකර්මයකට යැම විශාල අවදානමක්‌. මම දෙලොවක අතරමං වුණා. නැවත මම මාර්තු 04 වැනිදා පොලිස්‌ රෝහලට ඇතුළත් වෙලා අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළා. ඔය අතරේ මම ‘දිවයින’ පත්තරේ පළ කරන ‘ලෙඩ සුව කරන වහල්කඩ ඉසිවර අරණ’ කියන ලිපි පෙළ කියවලා ලිපි එකතු කරගෙනත් තිබුණා. පස්‌සෙ මට හිතුනා ‘මගේ ලෙඩේටත් බෙහෙත් තියෙන්නෙ මේ පින්බිමේ තමයි… කල් නොයා පන්සලට යන්න ඕනා කියලා…’ එහෙම හිතාගෙන මාර්තු මාසෙ 06 වැනිදා මම පන්සලට ඇවිත් ස්‌වාමීන් වහන්සේට බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවා. අපේ ස්‌වාමීන් වහන්සේ ස්‌කෑන් කරලා වගේ මගෙ ඇගේ තියෙන සම්පූර්ණ ලෙඩ ගැන කිව්වා. ඒ හැම ලෙඩක්‌ම සුවපත් කරන්න පුළුවන් පන්සලේ නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් කිව්වා. මම පන්සලට ගියේම නතර වෙන්න බලාගෙන අවශ්‍ය අඩුම කුඩුමත් අරගෙනයි. එදාම පන්සල් භූමියේ කූඩාරමක්‌ අටවගෙන නතර වෙලා වෙදකම් පටන් ගත්තා…”

“සියලු වෙද, හෙදකම් කරන්නේ ආගමික වත් පිළිවෙත් එක්‌ක. පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. පත්තිනි මෑණියන් කියන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන උත්තමාවියක්‌. ඒ වගේම ප්‍රතිකාර කරන ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයෙක්‌. ඒ පින්බිමේදී කෙරෙන වෙදකම ගැන මම ලොකු විශ්වාසයක්‌ තැබුවා. සෑම දිනකම හවසට ස්‌වාමීන් වහන්සේ බෝධි පූජා පවත්වනවා. සෙනසුරාදා රාත්‍රියට දෙහි කපනවා. මම ඒ කිසිම දෙයක්‌ මගහැරියේ නෑ. දෙන බෙහෙත් ටික නියම වේලාවට මාත්‍රාවට පාවිච්චි කළා. උම්බලකඩ කෑල්ලක්‌වත් කැවෙන්නෙ නැති විදිහට පිළිවෙත් රැක්‌කා. ඒ සියලු දේ කළේ ස්‌වාමීන් වහන්සේට ගෞරවනීය විදිහට. සතියක්‌, දෙකක්‌ ප්‍රතිකාර ගන්නකොට මගේ ඇඟේ ඇතුළේ වෙනස්‌කම් වෙනවා මට දැනුනා. ඒ වගේම මගේ ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙන බවත් මට දැනුනා. දවස්‌ 21 ප්‍රතිකාර අරගෙන කොළඹ ඇවිත් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිහින් එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා. පිළිකාව තිබුණු තැනක්‌වත් නෑ…”

“වාහල්කඩ පුණ්‍ය භූමියේ විශේෂ විශ්ව ශක්‌තියක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ පින්බිමේදී කෙරෙන බෝධි පූජා, චෛත්‍ය වන්දනා තුළදී පුදුමාකාර මානසික සුවයක්‌ ලැබෙනවා. රෝග සුව වීමට ඒ මානසික සුවය විශාල පිටුවහලක්‌ වෙනවා. ඒ වගේම කිසිම රෝගියකුගේ රුපියලක්‌වත් අය කරන්නේ නෑ. ප්‍රතිකාර ගත්ත දවස්‌ විසි එකට මට බෙහෙත්වලට වියදම් වුණේ රුපියල් අටදාහකටත් අඩු මුදලක්‌. වෛද්‍යවරයෙක්‌ චැනල් කරලා පරීක්‍ෂණයක්‌ කරන්නත් ඒ ගාන මදි. තුන්වේලටම පන්සල ගානේ කෑම ටික දෙනවා. ශත පහක්‌වත් ගන්නේ නෑ…”

“නායක ස්‌වාමීන් වහන්සේගේ කරුණාමහිමය ගැන කතා කරන්න ගියොත් ඉවරයක්‌ නෑ. උන්වහන්සේ අප තථාගත සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිටි ජීවක වෙදැදුරාණන් වහන්සේ. නැතහොත් ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රයේ පියාණන් වූ චරකසංහිතාව සංග්‍රහගත කළ ධන්වන්තරී සෘෂිවරයාණෝය. එසේ නැතහොත් සශ්‍රDත සංහිතාව කළ ආත්‍රේය මුණිවරයාණන්. උන්වහන්සේට තව සියවසක්‌ ජනතා සුවසෙත සහ ලෝවැඩ පිණිස ඒ පින්බිමේ වැඩ වාසය කිරීමට දීර්ඝායුෂ, සුවසෙත ප්‍රාර්තනා කරනවා. ඒ වගේම දහස්‌ සංඛ්‍යාත රෝගීන්ට කරුණාව දක්‌වමින් ජීවිත දානය දෙන උතුම් වූ ශ්‍රී සිද්ධ සත්පත්තිනි මෑණියන් වහන්සේ පතන ලොව්තුරා බුද්ධත්වයට නුදුරු අනාගතයේදීම පැමිණේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා…”

“මම ජීවිතේට සිගරැට්‌ බීලා නෑ. මත්පැන්වලට ගිජු වෙලා නෑ. මස්‌ මාංශ කන්නේ නෑ. ඒත් මගේ අක්‌මාවේ ඇල්කොහොල් තිබුණා. සිරෝසීස්‌ හැදෙන්න මත්පැන් බොන්නම ඕනා නෑ. කර්ම ඵලය අනුව ලෙඩ දුක්‌ හැදෙන එක නතර කරන්න බෑ. අපි පෙර ආත්මවල පින් රැස්‌ කරගෙන තිබුණොත් දේව හාස්‌කමකින් හරි ඒ ලෙඩ සුවපත් වෙනවා. මැරෙන්න වැටිලා වාහල්කඩ පින්බිමට උස්‌සගෙන එන රෝගීන්ව ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ සුවපත් කරලා දෙපයින් ඇවිඳගෙන යනවා මම දැකලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ ඔබත් දරුණු රෝගයකින් පීඩා විඳිනවා නම් වාහල්කඩ පින්බිමට ඇවිත් ප්‍රතිකාර ලබාගන්න. ඒ වගේම වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ගන්න රෝගීන්ට ඇති වන සාමාන්‍ය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට බටහිර වෛද්‍යවරුන්ගේ සේවා පහසුකම් ලබා දෙනවා නම් එයත් උතුම් සත්ක්‍රියාවක්‌ වෙනවා…” පොලිස්‌ අධිකාරිවරයාගේ දීර්ඝ දේශනය අවසානය. ඔහුගේ කතාවෙන් සමාජයේ රෝගී ජනතාවට ගත හැකි පාඩම් බොහෝය.

රටේ රෝගී ජනතාවට සුව සෙත ලබා දෙන වාහල්කඩ පින්බිම ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුය. දිනපතා මිනිසුන් දහස්‌ ගණනක්‌ රැඳෙන මේ ස්‌ථානයට ස්‌ථිර පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදීම රජයේ යුතුකමකි. එමෙන්ම මේ විෂම සමාජයේදී ජනතාවට සුවසෙත සලසන වාහල්කඩ ස්‌වාමීන් වහන්සේට ජීවිත අවදානමක්‌ නැතුවාම නොවේ. එය දිනෙන් දින වැඩි වීමක්‌ විනා අඩු වීමක්‌ නැත. එහෙයින් නායක ස්‌වාමීන් වහන්සේගේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි.

යහමින් ඇති හැකි අය මෙන්ම රජය ද බොල් වැඩ සඳහා නාස්‌තිකරන මුදල් යොදවමින් මේ පින්බිමේ සිටින රෝගීන්ගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා යම් විධිමත් පහසුකම් සැපයීමට දායකවන්නේ නම් එය ඔබ විසින් එලොවටත් මොලොවටත් කරගන්නා යහපත් ආයෝජනයකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගය කැඩී බිඳී ගොස්‌ අති දුෂ්කරය. රෝගියෙක්‌ ගෙන යැම කෙසේ වෙතත් නිරෝගීමත් කෙනෙකුට ද වාහනයක හෝ ගමන් කිරීමට අසීරුය. ඒ තරමටම මග වළ, ගොඩැලි සහිතය. දහස්‌ සංඛ්‍යාත රෝගී ජනතාව යන, එන ඒ මාර්ගයට තාර එලා විධිමත් ලෙස සකස්‌ කිරීම ද රජයේ වගකීමකි. රාජ්‍ය නොවන සංවිධානයක්‌, ආයතනයක්‌ හෝ එම සත්ක්‍රියාවට පෙරමුණ ගන්නේ නම් එය ද උත්තුංග සමාජ සත්කාරයකි. අපේ යුතුකම අපි කළෙමු. ඔබේ යුතුකම වෙන තෙක්‌ අපි බලා සිටිමු.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැදි සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැලකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය.

බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති ස්‌වාමින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැලකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like